මෝටර් වාහන තුල ගමන් කිරීමේදී කොවිඩ්-19 පැතිරීම අවම කරගන්නේ කෙසේද?


පසුගිය දින වල ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් විසින් ඉදිරිපත් කෙරුණු කොවිඩ් මාර්ගෝපදේශයන් වල අඩංගු වූ වැදගත් කරුණක් වන්නේ මෝටර් රථයක් තුල එක් පුද්ගලයෙකුට වඩා ගමන් කිරීමේදී (විශේෂයෙන්ම එකම පවුලේ නොවන අය එකම රථයක් තුල ගමන් කිරීමේදී) අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙතයි. එහිදී නිර්දේශ වූයේ එලෙස වාහන වල ගමන් කිරීමේදී වාහන වල වීදුරු විවෘත්ත කරගෙන, වාතාශ්‍රය ඒ තුලට පැමිණෙන ලෙස ගමන් කිරීම වඩාත් යෝග්‍ය බවයි. මේ ප්‍රකාශය බොහෝ අය විසින් ප්‍රශ්න කිරීම සහ ඇතැම් විට උපහාසයට ලක් කිරීමද දක්නට ලැබුණා. එසේම මේ ආකාරයට වායු සමනය කළ වාහනයක ගමන් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිලිවෙත, සහ විශේෂයෙන්ම air circulation mode එක මෙහිදී භාවිත කළ යුතු ආකාරය ගැන ද ඇතැම් අය ගැටලු යොමු කර තිබුණා.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තම වාහන වලින් හෝ පොදු ප‍්‍රවාහන සේවාවලින් ගමන් කරන අය  එම වාහන වල ජනෙල් වීදුරු විවෘත කර වාතාශ‍්‍රය ඒ තුළට පැමිණෙන ආකාරයට සලස්වා ගමන් කිරීම ඉතා යෝග්‍ය බවයි පසුගිය දිනවල සෞඛ්‍ය අංශ වලින් ලබාදුන් කොවිඩ් මාර්ගෝපදේශ වල සඳහන් වූයේ.

 කෙසේ නමුත් මීට කලින් සමාජයේ පැවති පොදු පිළිගැනීම වූයේ වාහනයක වීදුරු සියල්ල හොඳින් වසාගෙන ගමන් කිරීමෙන් මෙම රෝගය පැතිරීම අවම වීමට එය හේතුවක් වන බවත්, ඒ අනුව එවැනි අවස්ථාවක බොහෝ විට එකම පවුලේ අය ගමන් කරන වාහනයක් නම් එවිට මුව ආවරණ පවා පැළඳීම අවශ්‍ය නොවන බවත් ය.


ඒ අනුව වාහන වල වීදුරු විවෘත්ත කරගෙන යන ලෙස උපදෙස් ලබා දීමේ යම් පරස්පරතාවයක් තිබෙනවාද කියා ඇතැම් අයට ගැටලු මතුවී තිබුණා.





දැන් අපි මෙහි විද්‍යාත්මක පදනම සරලව සලකා බලමු.

නව කොරෝනා වයිරසය, ආසාදිත පුද්ගලයෙකුගේ ප්‍රශ්වාස බිඳිති හරහා තවත් අයෙකු වෙත පැතිරීම සිදුවන බව සාමාන්‍යයෙන් සැලකෙනවා.(Contact and droplet transmission) 


එසේම මෙම වයිරසය වාතය හරහා පැතිරෙන බවටත් (air borne transmission) ප්‍රබල මතයන් මේ වන විට ඉදිරිපත් වී තිබෙනවා.

විශේෂයෙන්ම වාතාශ්‍රය අඩු, සංවෘත අවකාශයන් තුල මිනිසුන් වැඩි වෙලාවක් රැඳී සිටීමේදී මේ ආකාරයට වයිරසය පැතිරීමේ හැකියාව තිබෙන බව එහිදී පැවසෙනවා. (Short-range aerosol transmission)


ඒ අනුව ආසාදිත පුද්ගලයෙකු හා ආසන්නව, සංවෘත අවකාශයක් තුල වැඩි වේලාවක් ගත කිරීමෙන් මේ ආකාරයට වයිරසය වෙනත් පුද්ගලයෙකුට ආසාදනය වීමේ අවධානම ඉතාම ඉහල අගයයක් ගන්නා බව පැහැදිලි කරුණක් වනවා.


දැන් අපි ආසාදිත පුද්ගලයෙකු සහ ආසාදිත නොවන පුද්ගලයෙකු (දෙදෙනාම මුව ආවරණ සහිතව හෝ රහිතව) එකම වාහනයක වීදුරු වසාගෙන ගමන් කරන අවස්ථාවක් සලකමු.

මෙම අවස්ථාවේ වීදුරු වැසූ වාහනයේ සංවෘත අවකාශය තුළ, වාතය පිටතට සංසරණය වීමක් සිදු නොවන නිසා, ආසාදිත පුද්ගලයාගෙන් පිටවන වයිරස අඩංගු බිඳිති ඒ තුල එක් රැස් වීමට පටන් ගන්නවා. ආසාදිත පුද්ගලයා මුව ආවරණයක් පැළඳ සිටියත්, ඒ හරහා සුළු වශයෙන් හෝ කාන්දු වීමක් සිදුවන නිසා, වාහනය තුල ගමන් කරන මුලු කාලය සැලකීමේදී ඒ තුල වයිරස අඩංගු බිඳිති සාන්ද්‍රණය ඉහල යාම මෙහිදී සිදු වෙනවා. මේ අනුව මෙවැනි අවස්ථාවක මේ වාහනය තුල සිටින ආසාදිත නොවන පුද්ගලයෙකු, මුව ආවරණය පැලඳ සිටියත් නොසිටියත්, ඔහුට හෝ ඇයට වයිරසය ආසාදනය වීමේ අවධානම ඉහල යන බව ඔබට පැහැදිලි විය යුතුයි.


මෙසේ වීදුරු වසා ගමන් කරන වාහනයේ වායු සමන පද්ධතිය ක්‍රියාත්මක කර ඇත්නම්, සහ විශේෂයෙන්ම එහි, පිටත පිරිසිදු වාතය ඇතුලට ලබාගන්නා කවුලුව වසා, ඇතුලත ඇති වාතය ඒ තුලම සංසරණය වන ලෙස inside air recirculation mode එක ක්‍රියාත්මක කර ඇත්නම් ඉහත විස්තර කළ අවධානම කිහිප ගුණයකින් ඉහල යන බව ඔබට පැහැදිලි ඇති.


මෙම අවධානම අවම කිරීමට නම් අදාල අවකාශය තුල පවතින වාතය පිටතට සංසරණය වෙමින් නැවුම් වාතය ඇතුලට පැමිණීම සිදුවිය යුතු වනවා. එවිට වයිරස අඩංගු බිඳිති ඒ තුල එක් රැස් වීම අවම වී එම බිඳිති සාන්ද්‍රණය අඩු වන නිසා එයට නිරාවරණය වන ආසාදිත නොවන පුද්ගලයෙකුට වයිරසය ආසාදනය වීමේ අවධානම සාපේක්ෂව අඩු වෙනවා. 


ඒ අනුව ඉහත අවස්ථාව සැලකුවහොත්, අවධානම අවම වන පරිදි වාහනයක ගමන් කිරීමට නම් අනුගමනය කළ යුතු වඩා යෝග්‍ය ක්‍රමවේදය වන්නේ එහි වීදුරු සියල්ල හොඳින් විවෘත්ත කර ඒ තුල ඇති වාතය හොඳින් පිටත සමග සංසරණය වන ලෙස තබා ගැනීමයි. සෞඛ්‍ය අංශ වලින් ලබා දි තිබුණු මාර්ගෝපදේශ වලින් අදහස් වන්නේ මෙයයි. [මෙයට අදාල විද්‍යාත්මක අධ්‍යයයනයන් ලෝකයේ විවිධ රට වලින් ඉදිරිපත් කෙරී තිබෙනවා. ඒ අනුව වාහනයක වීදුරු සියල්ල විවෘත්ත කරගෙන යාමට අමතරව වාහනය තුල මගීන් සිටින ආකාරය අනුව, විකර්ණ ආකාරයට වීදුරු විවෘත්ත කරගෙන යාමද (උදා:- මෝටර් රථයක ඉදිරි දකුණුපස රියදුරු සහ පිටුපස වම්පස එක් මගියෙකු සිටින විට, ඉදිරි වම් පස වීදුරුව සහ පිටුපස දකුණු පස වීදුරුව විවෘත්ත කිරීම ) යොදා ගත හැකි බව එවැනි අධ්‍යයනයන් මගින් පෙන්වා දී තිබෙනවා.]


එලෙස වීදුරු විවෘත්ත කරගෙන යාම කළ නොහැකි නම් හෝ වායුසමන පද්ධතිය ක්‍රියාත්මක කරගෙන යන්නේ නම් හෝ, එම පද්ධතියට අදාල air circulation mode switch එකෙන්, fresh air circulation mode එක select කර, එනම් පිටතින් පිරිසිදු වාතය වාහනය තුලට ලැබෙන ආකාරයට සකස් කර ගමන් කිරීමෙන්, යම් තරමකට හෝ වාහනය ඇතුලත වාතය පිටත සමග සංසරණය වීමක් සිදු වන නිසා, අදාල අවධානම තරමක් අඩු කරගත හැකියි.


මෙහිදී බොහෝ අය මතු කරණ කරුණක් වන්නේ මෙසේ කිරීමෙන් වාහනයේ වායුසමන පද්ධතියට හානියක් සිදුවන්නේද යන්නයි.

සාමාන්‍යයෙන් cabin air filter එකක් සහිත වාහනයක නම් මේ ආකාරයට outside/fresh air circulation mode එක on කරගෙන යාමෙන් AC පද්ධතියට විශාල ගැටලුවක් ඇතිවන්නේ නැහැ. වාහනය තුලට පිටත ඇති වාහන දුම, විවිධ ගන්ධයන් ඇතුල්වීම වැනි ප්‍රායෝගික ගැටලු නම් ඇති විය හැකියි. cabin air filter එකක් නැති වාහනයක් නම් පිටතින් එන දූවිලි අධික වශයෙන් තැන්පත් වීම නිසා evaporator එකට ඉක්මණින් හානි සිදුවීමේ ඉඩක් තිබෙනවා.  

කෙසේ නමුත් මෙහිදී තීරණය කළ යුත්තේ වාහනයේ AC පද්ධතිය රැකගන්නවාද, නැතිනම් එහි ගමන් ගන්නා මිනිසුන් ආසාදිතයන් වීම හැකිතරම් වළක්වාගන්නවාද යන්නයි.


ඒ අනුව විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී, සෞඛ්‍ය මාර්ගෝපදේශ වල සඳහන් වූ ලෙස වාහන වල වීදුරු සියල්ල හොඳින් විවෘත්ත කරගෙන යාමේ වැදගත් කම දැන් ඔබට පැහැදිලි ඇති.

පුද්ගලික මෝටර් රථයක ගමන් කළත් අවස්ථානුකූලව මේ උපදෙස් වලට අනුව කටයුතු කිරීම වැදගත් බව මෙහිදී සඳහන් කළ යුතුයි. විශේෂයෙන්ම ඔබ පවුලේ කෙනෙකු ආසාදිතව රෝහල් ගත කිරීම වැනි අවස්ථාවක වාහනයක ගමන් කිරීමේදී එම උපදෙස් අනුව කටයුතු කිරීම, අන් අයට වයිරසය ආසාදනය වීමේ අවධානම අඩු කිරීමට හේතු වනු ඇත.


(C) Anjana Ishan

22.05.2021


Sources:- 

• Provisional Clinical Practice Guidelines on COVID-19 suspected and confirmed patients – Ministry of Health, Sri Lanka

• Transmission of COVID-19 virus by droplets and aerosols: A critical review on the unresolved dichotomy, by Mahesh Jayaweera, Hasini Perera, Buddhika Gunawardana, Jagath Manatunge

• Riding in a Car in the Pandemic: Which Windows to Open? - University of Massachusetts Amherst

• Transmission of SARS-CoV-2: implications for infection prevention precautions - WHO

https://divaina.com/daily/index.php/puwath-2/57692-2020-3043



Comments