කාමුක බන්ධන !




හැමෝම අහලා ඇතිනේ ඉතින් ලංකාවේ ඉස්සර කාලේ ගැහැණු අය නැත්නම් පිරිමි අයව තමන්ට බලෙන් වශී කරගන්න කරපු වශී බන්ධන , ගුරුකම් වගේ දේවල් ගැන විස්තර..

මේ කියන්න යන්නේ ඒ වගේම ගොඩාක් ඉස්සර කාලේ ඒ කියන්නේ 3 - 11 වන සියවස අතර කාලේ වගේ ග්‍රීක වැසියෝ, රෝම වැසියෝ එහෙම පාවිච්චි කරපු වශී ගුරුකම් අතර ජනප්‍රිය වුනු, වශී මන්තර ක්‍රමයක් ගැනයි.

ඒ කාලේ සාමාන්‍යයෙන් ගැහැණු අයට ලොකු අධ්‍යාපනයක් ලබන්න තරම් හැකියාවක් තිබුනේ නැත්තේ ඒ සමාජය පුරුෂාධිපත්‍යය මුල් කරගෙන ගොඩ නැගිලා තිබුනු නිසා.. ගොඩක් වෙලාවට ඒ පිරිමි අය ගැහැණියව සැලකුවේ ගෙදර වැඩපල ටික කරන සහ තමන්ගේ ලිංගික අවශ්‍යතා ඉශ්ට කරවාගන්න පාවිච්චි වෙන ශරීරයක් විදිහට විතරයි.

ඉතින් මේ වගේ බන්ධන , ගුරුකම් කලේ 90%ක්ම පිරිමි උදවිය තමයි. ( මේවා කරපු ගෑණු අයත් නැතුවාම නොවෙයි ඈ ) කොහොමහරි මේ මිනිස්සු මේ වගේ දේවල් බොහොම රහසිගත විදිහට කරගන්න වගේම වෙනත් අයට කරලා දෙන්නත් පුරුදු වෙලා හිටියා..

මෙයාලා මේවා හොරෙන් කරන්න හේතුව වුනේ, ඒ සමාජ ක්‍රමයේ එතකොට තිබ්බ සංස්කෘතික පසුබිම අනුව සමහර වෙලාවට මේ දේවල් වලට නීතිමය වශයෙන් දැඩි දඩුවම් ලැබුනු නිසා..

මේ එක එක මැජික් වර්ග වලින් මිනිස්සු අතර ගොඩක් ම ජනප්‍රිය වෙලා තිබ්බේ මේ කාමුක බන්ධන ක්‍රමය තමයි. මේවා කරපු මිනිස්සුත් මැජික් ශිල්පීන් විදිහට තමයි ගණන් ගත්තේ.. එයාලා තමන්ගේ සේවාදායකයන්ට කාමුක වශී ලියලා දීලා, බන්ධන කරලා දීලා ඒ වගේම වශී බෝනික්කො (මේවට වශී රූකඩ කියලත් කියනවා) එහෙමත් හදලා දීලා ඒවට ලොකු ගාණකුත් අරගෙන තියෙනවා.

පැරණි ග්‍රීක, රෝමානු වගේම ඊජිප්තු ඉතිහාසයේත් පැපයිරස් කියන ශාකයේ පත්‍ර වල ලියවුනු මේ වගේ බන්ධන , ගුරුකම් විශාල සංඛ්‍යාවක් ඇතුලත් පොත්පත් ගොඩාක් තියෙන බව අද වෙද්දි ඉතිහාසවේදීන් හොයාගෙන තියෙනවා.

මේ ක්‍රම අතර පලවෙනිම තැන හිමි වෙන්නෙ බෝනික්කන් යොදාගෙන කරන බන්ධන වර්ග වලට. මේ බෝනික්කන්ට කියන්නේ වූඩූ බෝනික්කො කියලා. මේ බෝනික්කන්ව හදන්නෙ තමන්ට අකමැති ගැහැණු කෙනෙක්ව නැත්නම් පිරිමි කෙනෙක්ව තමන්ට වශී කරගන්න ඕනි කියන දැඩි ආශාවෙන් හා අරමුණින්. මේ වගේ කාමුක වූඩූ බෝනික්කො හදන්න ඕනි විදිහ, බන්ධනය කරන්න ඕනි විදිහ සහ ඒවා තැන්පත් කරන්න ඕනි ස්ථාන ගැන හැම පියවරක්ම හරිම පිලිවෙලට, නිවැරදිව පැපයිරි පත්‍රවල මන්තර වල ලියවිලා තියෙනවා.

මේ බන්ධන සිදුකරන පුද්ගලයන් දකින විදිහට මේ බෝනික්කන්ට කරන කියන ඕනෑම දෙයක් ඊට අදාල පුද්ගලයා ට ඒ විදිහටම සිද්ද වෙනවලු.

මේ පහල පින්තූරේ තියෙන ලූවර් වූඩූ බෝනික්කා අදටත් ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ අපිට දැකගන්න පුලුවන්. මේක කාන්තාවකගේ හැඩයට හදපු බෝනික්කෙක්. අත්දෙක පිටිපස්සට ගැට ගහලා දණගහගෙන ඉන්න ස්වරූපයට තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි මේ බෝනික්කා ගේ ශරීරයේ ස්ථාන 13ක් සිදුරු කරලා විශාල ඉදිකටු හැඩැති දෙයක් ඇතුල් කරලා තියෙනවා. මෙහෙම ශරීරයේ සිදුරු කරන්නේ පිරිමියාට මෙම ගැහැණියගේ අයිති කරගැනීමට අවශ්‍ය සහ දැඩි ආශාවෙන් පෙලෙන ස්ථානයන්. මේ බෝනික්කා හදන්න යොදාගෙන තියෙන්නෙ වේලුනාම කැඩෙන්නෙ නැති මැටි විශේෂයක්. ඒ වගේම මේ බෝනික්කව හොයාගෙන තියෙන්නෙත් ඊජිප්තුවේ රතු පාට ටෙරා කොටා කියලා හදන මැටි භාජනයක් ඇතුලේ හංගලා තිබිද්දි.

මේ බෝනික්කට කරපු බන්ධනයත් ඒකේ ඊයම් පුවරුවක කොටලා තියෙන්නෙ. ඒ පුවරුවේ තියෙන තොරතුරු වල විදිහට නම් මේ බෝනික්කා ට අදාල ගැහැණු කෙනාගේ නම ටොලමයිස්. එතකොට මේ බෝනික්කා ව හදන්න මැජික් ශිල්පියාට භාර දීලා තියෙන පුද්ගලයා ගේ නම සැරාපමොන්.

මේ බන්ධනයන් ලියවෙන්නෙත් ගොඩාක් දරුණු නපුරු වචන යොදාගෙන.. ඒ කියන්නෙ අදාල ගැහැණු කෙනාව නැත්නම් පිරිමි කෙනාව හොදින් බැරි නිසා නරකින් අයිති කරගැනීමක් තමයි මේකෙන් කෙරෙන්නේ.. බන්ධන වල වචන දරුණු වන තරමට එහි බලය වැඩි වන බව තමයි ඔවුන් විශ්වාස කලේ.

මේ බන්ධන කොයි තරම් දරුණුද කියනවා නම්, මේ ලූවර් වූඩූ බෝනික්කා ට අදාල බන්ධනයේ එක් තැනක සඳහන් වෙන්නේ මෙන්න මේ වගේ වචන පෙලක්...

" ඇයට ආහාර ගන්නටවත් , වතුර බොන්නට වත් , ජීවිතය රදවාගන්න වත්, දිරිමත්ව සිටීමට වත්, නිදාගැනීමට වත් ඉඩ දෙන්න එපා... "

තවත් තැනක මෙහෙමත් සදහන් වෙනවා..

" ඇය මට අපහාස කිරීම නවත්වන තුරු ඇයගේ කොණ්ඩයෙන් ඇදගෙන ඉතා පටු පාරවල් හරහා මා වෙතට ඇදගෙන එන්න... "

මේ දේවල් කරන මිනිසුන්ට අවශ්‍ය වෙලා තිබ්බේ ආදරයක් නෙමෙයි, ගැහැණිය තමන්ගේ ලිංගික ආධිපත්‍යයට යටත් කරගෙන ඇයව පාලනය කිරීම බව මෙයින් හොඳට පැහැදිලි වෙනවා..

ඒ විතරක් නෙමෙයි මේ වගේ බන්ධන කරලා හංගලා තියෙන බෝනික්කන්ව හොයා නොගන්න තාක් ඊට අදාල ගෑණු කෙනාව නැත්නම් පිරිමි කෙනාව ලිංගිකව යටත් කරලා තියාගන්න පුළුවන්. බෝනික්කව හොයා ගත්තොත් බන්ධනය බිදිලා නිදහස් වෙනවලු.

කොහොම වුනත් ක්‍රම ක්‍රමයෙන් මේ දේවල් යට ගියත් අද වන විටත් හොර රහසේ මෙවැනි බන්ධන , වශී ගුරුකම්, යන්තර මන්තර ලෝකය පුරා සිද්ද වෙනවා කියන එක හැමෝම දන්න ප්‍රසිද්ධ රහසක්. බ්ලැක් මැජික් ගණයට තමයි මේවත් අයිති වෙන්නෙ. මේවා කාලයක් තිස්සෙ එහාට මෙහාට පරිවර්තනය වෙලා තමයි එක එක රටවල යන්තර මන්තර හදි හූනියම් විදිහට සිද්ද වෙන්නෙ..

ආ තව දෙයක්...

අපේ පොඩි සීයාවත් ඒ ආච්චි කසාද බැදගෙන තියෙන්නෙ ඕන් ඔහොම වශී බන්ධනයක් කරගෙන කියලා අපේ ආච්චි කාටදෝ කියනවා මං අහගෙන..

(තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි)

✍️ ඉඳුනිල් එදිරිසිංහ.

Comments