එහෙනුත් දැන් නය ගන්න්වද!!!

ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමඟ “මුල්‍ය හුවමාරු ගිවිසුමක්” අත්සන් කර තිබෙනවා. එය ඇත්ත වශයෙන්ම ණයක් ගැනීමක්ම නොවෙයි. බංග්ලාදේශය අපට ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් ලබා දෙන අතර අපි ඔවුන්ට ඊට සමාන වටිනාකමක් ශ්‍රී ලංකා රුපියල් වලින් ලබා දෙන්න එකඟ වී තිබෙනවා. ඩොලරයකට රුපියල් 200 ක් ලෙස ගනන් බැලූ විට එය රුපියල් මිලියන 40,000 ක් පමණ වනු ඇති. අපට ලැබෙන ඇමරිකානු ඩොලර් මිලියන 200 මහ බැංකුවේ විදේශ විනිමය සංචිතයක් ලෙස තබා ගනිමින් ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම අවප්‍රමාණය නොවී වැඩිපුර රුපියල් මිලියන 40,000 ක මුදල් සැපයුමක් එකතු කරගන්න (ඒ කියන්නේ සල්ලි අච්චු ගහන්න) හෝ ඩොලර් මිලියන 200 ක විදේශ ණය ගෙවා දමන්න, ශ්‍රී ලංකා රජයට අවකාශ ලැබෙනවා.

ගිවිසුම් කාලය අවසානයේදී, අප ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් (සහ එකඟ වන "ගාස්තුවක්") බංග්ලාදේශයට ආපසු ලබා දිය යුතුයි. එවිට ඔවුන් ඔවුන්ගේ සංචිතයේ තිබූ රුපියල් මිලියන 40,000 ආපසු අප වෙත එවනු ඇති.

(මෙය සත්‍ය වශයෙන්ම මුදල් හුවමාරුවක් හරහා නොව ප්‍රධාන වශයෙන් ගිණුම්කරණ ක්‍රියා මාර්ගයෙන් සිදුවන ක්‍රියාවලියක් පිළිබඳ සරල පැහැදිලි කිරීමක් පමණයි)

ගනුදෙනුවෙන් බංග්ලාදේශයට ලැබෙන ප්‍රතිලාභය නම්, එකඟ වූ කාල සීමාව තුළ ඔවුන්ගේ විදේශ විනිමය සංචිත වලින් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් තබා ගැනීමට අපට ඉඩ දීම සඳහා ඔවුන් අය කරන “ගාස්තුව”යි. ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභය වන්නේ, ගිවිසුම අවසන් වී හුවමාරුව ආපසු හරවන තෙක්, මුදල් සැපයුම වැඩි කිරීම (සල්ලි අච්චු ගැසීම) නිසා ඇති වන ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය “කල් දැමීම"යි. මෙම කාල පරිච්ඡේදය තුළ අප අපගේ ආර්ථිකය විනයක් ඇතිව කළමනාකරණය කරන්නේ නම්, අපට ශ්‍රී ලංකා රුපියල නැවතත් ශක්තිමත් කළ හැකි අතර, අපගේ මුදල් තොගය බංග්ලාදේශයෙන් ආපසු පැමිණෙන විට ශ්‍රී ලංකා රුපියලේ ඇතිවිය හැකි දැඩි අවප්‍රමාණය වීම වළක්වා ගන්න පුලුවන්.

ඔබ දන්නා පරිදි, රජය සිය ණය සඳහා පොළිය ගෙවීම සඳහා මුදල් සැපයුම වැඩි කරන (සල්ලි අච්චු ගහන) සෑම අවස්ථාවකම, ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම පහත වැටෙන අතර, ශ්‍රී ලංකා රජය ගෙන ඇති සමස්ත විදේශ ණයවල "රුපියල් වටිනාකම" ඉහළ යනවා. වෙනත් වචන වලින් කිවහොත්, මුදල් ණයට නොගෙන පවා රජයේ ණය බර වැඩිවෙනවා. මෙම "මුල්‍ය හුවමාරු ගිවිසුම" එම තත්වය වලක්වා ගැනීමට (ඇත්තම කියනවා නම් "කල් දමා ගැනීමට") උපකාරී වේවි.

පසුගිය කාලයේදී රට පාලනය කල සියලු ශ්‍රී ලංකා රජයන්, ණය පොලිය ගෙවීම සඳහා "සල්ලි අච්චු ගැසීමේ" දරුණු වැරැද්ද නැවත නැවතත් කලා. එමඟින් සිදු වුනේ රටේ සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමට මුදල් ලබා දීමකින් තොරවම රජයේ ණය බර නොකඩවා වැඩි වීමයි. මෙම අවුලෙන් මිදී යාමට ඇති එකම මාර්ගය නම්, ශ්‍රී ලංකා ආර්ථිකය තුළ දේශීය හා විදේශීය ආයෝජකයින්ට හැකි සෑම දෙයක්ම නිෂ්පාදනය කිරීමට දිරිමත් කිරීමයි. එවිට දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඉහළ යනු ඇති. එමඟින් රජයේ බදු ආදායම ඉහළ යනු ඇති අතර "සල්ලි අච්චු ගැසීමේ" අවශ්‍යතාවයත් වළක්වනු ඇති. එහි ප්‍රතිඵලයක් ලෙස රුපියල අවප්‍රමාණය වීමත් වැලකී යාවි. අත්‍යවශ්‍ය නොවන සියලු ආනයන දැඩි ලෙස සීමා කිරීමත් මේ අරමුණට ලඟා වීම සඳහා අවශ්‍ය වෙනවා.

රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වුවහොත්, කිසිදු ණය මුදලක් නොගත්තත්, රජයේ ණය බර දිගටම වැඩි වෙනවා. ඒ හේතුවෙන් ණය පොලී ආපසු ගෙවීම වඩ වඩාත් දුෂ්කර වනු ඇති අතර එය රටට බංකොලොත් බව ප්‍රකාශ කිරීමට පවා බල කරන තත්වයක් විය හැකියි.

Copyright : Prakash Gunasekara

Comments